කෝවිඩ් අධ්‍යාපන අර්බුදයට මුහුණ දීමට අට වැදෑරුම් ප්‍රතිපත්තියක්


Posted by Coordinator on May 11, 2021  /  1 Comments

  1. රූපවාහිනිය, වට්ස්ඇප් හෝ මුද්‍රිත මාධ්‍ය හරහා ලබා දෙන අන්තර්ගතය අධ්‍යාපනය නොවේ
  2. දෙමාපියන්ගෙන් ගුරු භූමිකාව බලාපොරොත්තු වීම වැරදිය. පාසැල් පැවත් විය යුතු දිනවල නිවෙස්වල සිටිමට සිදුවන  සිසුන්ව පෙ. ව. 7. 30-ප.ව. 1.30 කාලය තුළ ඉගෙනීමේ රඳවා තබා ගැනීම පාසල්වල වගකීම වේ.
  3. පාසල් විවෘත කිරීමේ/වැසීමේ තීරණ ගැනීම විමධ්‍යගත කළ යුතුයි
  4. තම තමන්ගේ ප්‍රාදේශීය තත්වයන්ට සරිලන පරිදි දරුවන් නොකඩවා අධ්‍යාපනයට සම්බන්ධ කරගැනීමට ප්‍රාදේශීය /කලාප අධ්‍යක්ෂවරුන්ට බලය මෙන්ම සම්පත්ද ලබා දිය යුතුයි.
  5. නිවෙස්ගත්ව අධ්‍යාපනයේ නියැලෙන දරුවන්ගේ ඉගෙනීම හා සුරක්ෂිත බව තහවුරු කිරීම  සඳහා ග්‍රාම නිළධාරී මට්ටමේ ‘පාසල් පැමිණීමේ කමිටු’ නැවත සක්‍රීය කළ යුතුය.
  6. එන්නත් ලබාදීමේ දී ගුරුවරුන්ද කොවිඩ් වෛරසයට භාජනය විය හැකි සේවකයින් අතරින්  මූලිකත්වය ලැබිය යුතු කණ්ඩායමක් ලෙස සැලකිය යුතුය
  7. වයිරස් ටෙස්ට් පහසුකම් ලබා දෙමින් ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල පාසල් වල ගුරුවරුන් හා  සිසුන් නිරන්තරයෙන් පරීක්ෂණ වලට භාජනය කළ යුතුය
  8. පාසල් විවෘතව ඇති විට ඩිජිටල් අන්තර්ගතය මිශ්‍ර ඉගෙනුම් ක්‍රමවේද (blended learning) සම්මතයක් ලෙස අනුගමනය කළ යුතුය.

කෝවිඩ් වසංගත තත්වය සමග රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අර්බුදයක් මතු වී තිබේ. ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය මාස 15 ක් තිස්සේ අක්‍රීයව පවතී. දුරස්ථ අධ්‍යාපනය සඳහා  පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 50% ක ප්‍රතිශතයක් සම්බන්ධ කරගත නොහැකිව  ඇත. සම්බන්ධ වන සිසුන්ට ද අත්දැකගත හැකිවන්නේ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ජාල යොදා ගනිමින් ගුරුවරුන් විසින්  එවන  සටහන් හෝ පැවරුම් පමණකි. පන්තිකාමර අත්දැකීමකට ලගාවන සැබෑ ඔන්ලයින් අධ්‍යාපන අත්දැකීමක් ලැබුණේ 5% කට පමණි. මේ කරුණු සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලින් ඉල්ලා සිටින්නේ පහත සඳහන් කරුණු වලට අවධානය යොමු කරමින් නොපමාව ක්‍රියාත්මක වන ලෙසයි.

1.    රූපවාහිනිය, වට්ස්ඇප් හෝ මුද්‍රිත මාධ්‍ය හරහා ලබා දෙන අන්තර්ගතය අධ්‍යාපනය නොවේ. COVID-19 කාලය තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ක්‍රියාත්මක වන යල්පැන ගිය සම්ප්‍රේෂණ  ඉගැන්වීමේ ක්‍රමවේද භාවිතාව උච්චස්ථානයකට පැමිණියේය. ගුරුවරුන් ස්මාර්ට් ෆෝන් සහිත දෙමව්පියන්ට ඔවුන්ගේ දුරකථන ධාරිතාව ඉක්මවෙන තරමට වට්ස්ඇප් හරහා සටහන් හා පැවරුම් යවමින් ඔවුනට පිටු ගණන් සටහන් මුද්‍රණය කර ගැනීමට බල කෙරෙන තත්වයක් ඇති කළහ. ඉගෙනීම යනු හුදෙක් විෂය අන්තර්ගතය සම්ප්‍රේෂණ කිරීම  නොව, ගුරුවරයාගේ මඟ පෙන්වීම යටතේ දරුවා විසින් එම අන්තර්ගතය ක්‍රියාකාරී ලෙස පරිහරණය කිරීමයි. ඒ සඳහා   අවශ්‍ය වන්නේ ගුරුවරුන් විසින් දැනට දරුවන් සන්තකයේ පවතින පෙළපොත් සහ වැඩපොත් භාවිතා කිරීම සඳහා උපදෙස් යැවීම පමණි. එම පෙළපොත් වසර මුලදී සිසුන්ට යථා පරිදි ලැබුනාද නැද්ද යන්න වෙනත් ප්‍රශ්නයකි.

2.    දෙමාපියන්ගෙන් ගුරු භූමිකාව බලාපොරොත්තු වීම වැරදිය. පාසැල් පැවත් විය යුතු දිනවල නිවෙස්වල සිටිමට සිදුවන  සිසුන්ව පෙ. ව. 7. 30-ප.ව. 1.30 කාලය තුළ ඉගෙනීමේ රවා තබා ගැනීම පාසල්වල වගකීම වේ. පාසලේ වගකීම හරියාකාර ඉටු කිරීම සඳහා අප විසින් යෝජනා කරන්නේ සෑම දරුවෙකුටම සතියකට හෝ දෙසතියකට සරිලන ස්වයං ඉගෙනුම් සැලැස්මක් ලබා දී, ගුරුවරයෙකු විසින් අවම වශයෙන් දිනකට එක් වරක්වත් ඔහු /ඇය සමඟ පසු විපරම් කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් 96% කට ජංගම දුරකථනයක් තිබේ. සාමාන්‍ය ඇනලොග් දුරකථන භාවිතා කොට සමුහ දුරකථන සාකච්ඡාවන්  පැවැත්විය හැකි Dialog 1377 වැනි සේවාවන් ඇත. සාමාන්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ සෑම සිසුන් 16 දෙනෙකුටම එක් ගුරුවරයෙක් සිටී. සෑම දරුවෙකුටම දිනකට එක් ගුරුවරයකුගේවත්  අවධානය ලබා නොදීම ගැන  නිදහසට කරුණු නැති බව අපේ මතයයි.

3.    තම තමන්ගේ ප්‍රාදේශීය තත්වයන්ට සරිලන පරිදි සිසුන්ව නොකඩවා අධ්‍යාපනයට සම්බන්ධ කරගැනීමට ප්‍රාදේශීය හා කලාප අධ්‍යක්ෂවරුන්ට සම්පත් ලබා දිය යුතුය. පාසල් අධ්‍යාපන වියදමෙන් සියයට අනූ පහක් යෙදෙන්නේ වැටුප් ගෙවීම් සඳහා ය. ඉනික්බිතිව ගුරුවර, ශිෂ්‍යය හෝ පාසල් සංවර්ධනයට ඉතිරි වන්නේ සුළු මුදලකි. ධනවත් දෙමව්පියන් සිටින පාසල් වල එම සංවර්ධන සමිති මගින්  අතිරේක අරමුදල් රැස් කරන නමුත් දුප්පත් ප්‍රජාවන්ට කර කියා ගත නොහැක. ප්‍රදේශයට ආවේණික විෂමතා හා  අදාළ අවශ්‍යතා හොඳින් දන්නේ ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන්ය. අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා  කලාප / ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අනවශ්‍ය බාධාවලින් තොරව ප්‍රතිපාදන වහාම ලබා ගැනීමට සැලස්විය යුතුය.

4.    නිවෙස්ගත්ව අධ්‍යාපනයේ නියැලෙන දරුවන්ගේ ඉගෙනීම හා සුරක්ෂිත බව තහවුරු කිරීම  සඳහා ග්‍රාම නිළධාරී මට්ටමේ ‘පාසල් පැමිණීමේ කමිටු’ නැවත සක්‍රීය කළ යුතුය. දරුවන්ගේ කනස්සල්ල සහ මානසික සෞඛ්‍ය ගැටළු, අපයෝජන සිදුවෙන පරිසරයන් ඇති නිවාස, දුර්වල පෝෂණය වැනි සාධක ඔවුනගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම මෙන්ම තීරණාත්මක වේ. 1997හි අංක 1005/5 දරණ නීතිමය ප්‍රතිපාදනයට අනුව ග්‍රාම නිළධාරී මට්ටමේ සිටින විදුහල්පතිවරු, පාසල් සංවර්ධන සමිති නියෝජිතයින් සහ අදාළ සියලු අධ්‍යාපන, සෞඛ්‍ය, සුභසාධන බලධාරීන් ප්‍රදේශයේ  පාසල් යන දරුවන් සිටින පවුල් ඒකක පිළිබඳ කරුණු සොයාබැලීමට/ අධීක්ෂණය කිරීමට බැදී සිටියි. එම නිසා ග්‍රාම නිලධාරී මට්ටමේ ඇති මෙම කමිටු වහාම ක්‍රියාත්මක කළ යුතුය.

5.    පාසල් විවෘත කිරීමේ/වැසීමේ තීරණ ගැනීම විමධ්‍යගත කළ යුතුයි. පාසැල් වැසීම හෝ ඇරීම රේඛීය  අමාත්‍යංශය විසින් තීරණය කිරීමේදී  අනවශ්‍ය ලෙස සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා අහිමි කරන බව අපගේ නිරීක්ෂණයයි.  අඩු අවදානම් සහිත ප්‍රදේශවල පාසල් විවෘතව තැබීමට එම ප්‍රාදේශීය බලධාරීන්ට ඉඩ දිය යුතුය. ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල වුවද, අදාළ කමිටු සමඟ සාකච්ඡා කර විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට පාසල් නැවත විවෘත කිරීමේ කාලසටහන් සහ හුදකලා කිරීමේ ක්‍රම පිළිබඳව තීරණය කළ හැකි විය යුතුය. පාසැල් සියල්ල හැකි තරම් විවෘතව තැබීම සඳහා එන්නත් කිරීම සහ වයිරස් පහසුකම්  පදනම් කරගත් උපායමාර්ගික සැලසුමක් වහාම පිළියෙළ විය යුතුයි.

6.    එන්නත් ලබාදීමේ දී ගුරුවරුන්ද කොවිඩ් වෛරසයට භාජනය විය හැකි සේවකයින් අතරින්  මූලිකත්වය ලැබිය යුතු කණ්ඩායමක් ලෙස සැලකිය යුතුය. සෞඛ්‍යාරක්‍ෂක සේවකයින් කෝවිඩ් එන්නත ලැබීමට මූලිකත්වය ලැබිය යුතු  සේවකයින් ලෙස සැලකේ. එලෙසම පාසල් වැසීම නිසා දරුවන්ගේ අධ්‍යාපන කඩා කප්පල්වීම  මෙන්ම  සමාජය හා ආර්ථිකය පුරා ඇතිවෙන ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ගුරුවරුන්ද එවැනි  කණ්ඩායමක් ලෙස පිළිගනිමින් ක්‍රියාත්මක විය යුතුය.

7.    වයිරස් ටෙස්ට් පහසුකම් ලබා දෙමින්  ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල පාසල් වල ගුරුවරුන් හා  සිසුන් නිරන්තරයෙන් පරීක්ෂණයට භාජනය කළ යුතුය. ගුරුවරුන් සහ සිසුන් නිතිපතා පරීක්‍ෂා කිරීම සඳහා අඩු වියදම්  පරීක්ෂණ ක්‍රමයක් නිර්මාණය කළ යුතුය. මේ සඳහා UNICEF වැනි ආයතන වල සහාය ලබා ගත  යුතුයි. එක් ශිෂ්‍යයෙකුට හෝ ගුරුවරයෙකුට කොවිඩ් රෝගය වැළදුණහොත්, මුළු පාසලම වසා දැමීම වෙනුවට තනි පන්ති කාමර හෝ ශිෂ්‍ය කණ්ඩායම් හුදකලා වීමේ ක්‍රමවේද සැකසීමට පාසැල් උනන්දු කළ යුතුයි.

8.    පාසල් විවෘතව ඇති විට ඩිජිටල් අන්තර්ගතය මිශ්‍ර ඉගෙනුම් ක්‍රමවේද (blended learning) සම්මතයක් ලෙස අනුගමනය කළ යුතුය. එවිට ගුරුවරුන්ට සහ සිසුන්ට හදිසි අවස්ථාවකදී නිවෙස්වල සිට ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය සඳහා සුමටව මාරුවිය හැකිය. මේ ආකාරයේ ඉගෙනුම් ක්‍රම දැනටමත් අනුගමනය කර ඇති රටවලින් මේ සම්බන්ධයෙන් ඇති හොඳම භාවිතයන් පිළිබඳව දැනුම ලබා ගත හැකිය.

සුජාතා ගමගේ හා ටාරා ඩි මැල්

සම සම්බන්ධීකාරක

 

1 Comment


  1. Dilrukshi Samarasinghe

    This is high time to decentralized power and authority on equal education rights of the students in the country while managing covid 19 conflict. I work as an AL chemistry teacher in a very reputed international school from which extremely successful online school functions in hybrid form of physical and virtual teaching learning process. We also achieved excellent National AL results even though students had to learn virtually for 7+ months untill face their exams. But it is pathetic to note that some students future at a risk as no proper system effectively cater their educational requirements. The suggestions made would definitely lubricate the frictuon prevailing in the educational sector, is my personal opinion too.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*