වෘත්තීය මාර්ගෝපදේශනය – ගුවන්සේවා (Aviation)


Posted on October 29, 2013  /  0 Comments

 (මෙම ලිපිය 2013 පෙබරවාරි -සැප්තැම්බර් කාලය තුල  “අද” පත්‍රයේ පලවුන ලිපි මාලාවක් අන්තර්ජාලයට ගෙන ඒමේ අරමුණෙන් පලකෙරේ. මෙය වැඩි දියුණු කිරීම සදහා ඔබගේ අදහස්/ප්‍රශ්න  කරුණාකර කොමෙන්ටුවක් ලෙස එක් කරන්න.  අධ්‍යාපනය හෝ පුහුණුව සදහා ආයතන ලැයිස්තුවක් සදහා http://www.educationforum.lk/higher-education/බලන්න. )

 ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ක්ෂේත්‍රය තුල  ඉදිරි කාලය තුලදී  සැලකිය යුතු සංවර්ධනයක් බලාපොරොත්තු විය හැක.  වාර්තාවී ඇති අන්දමට, 2012 වසරේ සංචාරකයින් මිලියනයක් මෙරටට පැමිණ තිබේ.  2013 වර්ෂයේදී මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහල යනු ඇත.  2013 වසරේදී ශ්‍රී ලංකාව ඉහලම සංචාරයක් ගමනාන්තයක් වනු ඇති බවටද ජනප්‍රිය සංචාරක මගපෙන්වී‍මේ වෙබ් අඩවියක් වන ‘Lonely Planet’  විසින් අනාවැකි පලකර තිබේ.  දිවයිනක්  වන ශ්‍රී ලංකාවේ සෑම සංචාරක ආගමනයක්ම ගුවන් මගින් සිදුවන හෙයින් සංචාරක කර්මාන්තයේ සංවර්ධනය නිතැතින්ම ගුවන් ගමන් ක්ෂේත්‍රයේ දියුණුව ඇති කරවයි.

ගුවන් ගමන් ක්ෂේත්‍රයේ පවතින වෘත්තීන්  මොනවාද?

ගුවන් ගමන් ක්ෂේත්‍රය යයි කී පමණින් මෙහි පවතින්නේ ගුවන් යානාවලට සම්බන්ධ රැකියා පමණක් යැයි හැ‍ඟෙන නමුත් ක්ෂේත්‍රය ඊට වඩා පුළුල් පරාසයක් පුරා විහිදී යන්නකි.  ගුවන් ගමනක් සම්පූර්ණ කරගැනීම උදෙසා අවශ්‍ය වන සේවාවන් අතර ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන්, ගුවන් ගමන් පාලකවරුන්, ගුවන් නියමුවන්, ගිනි සහ ආරක්ෂක සේවා සේවකයින් ඇතුලත්වේ.  ඒ සමගම මගියා ගුවන් ගතවන තුරු ගුවන් තොටුපලවල ඔහුට අවශ්‍ය සහායයන් සපයන බිම් සේවක මඩුල්ල ද (ground crew) ගුවන් යානය තුලදී  අවශ්‍ය සේවා සැපයුම් කරන කුටි සේවා මඩුල්ල ද (cabin crew) ද මෙම ක්ෂේත්‍රයේ තවත් සේවා සමූහයක් නිරූපණය කරති.  එපමණක් නොව ගමන සඳහා අවශ්‍ය ටිකට් පත් වෙන්කරගැනීම ආදී කාර්යයන්හිදී සේවා සපයන කාර්යමණ්ඩල ද ගුවන් ගමන් ක්ෂේත්‍රයේම කොටසකි.  ගුවන් මගියකු කිසියම් රටකට ගොඩබැසීමේ අනිවාර්ය කොටසක් වන ආගමන විගමන සහ රේගු කටයුතු සිදු කෙරෙනුයේ ඒ සඳහා පවතින රජයේ ආයතන විසිනි.

මේ අංශයේ රැකියාවකට සුදුසුකම් ලබාගන්නේ කෙසේද?

ගුවන් සේවා ක්ෂේත්‍රයේ ගුවන් නියමුවන්, ගගන ඉංජිනේරුවන්, ගුවන් ගමන් පාලකවරුන්, තොරතුරු පද්ධති විශේෂඥයින් වැනි කාර්මික සහ ශිල්පීය දැනුම අත්‍යවශ්‍ය වන අංශයන්හිදී  ඒ ඒ වෘත්තීය සදහා විශේෂිත අධ්‍යාපනය හා පුහුණුව ලබා ගත යුතුය.  ගුවන් මගී සේවා හා ගුවන් සේවා පරිපාලන අංශවල  මූලික මට්ටමේ රැකියාවලට ඇතුළුවීමේ අවස්ථාව බොහෝවිට පාසැල් අධ්‍යාපනය නිමකරන තරුණ තරුණියන් වෙත විවෘතය.  මෙහිදී ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සහ මෘදු නිපුණතාවන් ලෙස සැලකෙන පෞද්ගලික ගුණාංගයන් ඔවුන් තුල තිබීම වැදගත්ය.  බොහෝවිට සිදුවන්නේ අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්වීමෙන් පසුව මෙම ක්ෂේත්‍රයට සම්බන්ධවී රැකියාවෙහි යෙදෙන අතරතුර තවදුරටත් සුදුසුකම් ලබාගැනීම හරහා සිය වෘත්තීන්ගේ ඉහළ මට්ටම් කරා මෙම ආධුනික වෘත්තිකයන් යොමු වීමයි.

ගුවන් නියමු

 තමා කවදා හෝ ගුවන් නියමුවකු වීම බව සුරේන් රත්වත්තේ තීරණය කළේ වයස අවුරුදු 8 ක් පමණ වන ලාබාල වියේ සිටමය.  ඒ සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ Embry-Riddle විශ්ව විද්‍යාලයට ඔහු යැවීමට ඔහුගේ දෙමාපියනට වත්කම තිබීම ඔහුගේ වාසනාවක් විය.  මේ අධ්‍යාපනය සිව් වසරක ගගනයානා ඉංජිනේරු විභාගයකින් සහ ඉන් අනතුරු ගුවන් නියමු බලපත්‍රය ලබාගැනීමකින් සමන්විතය.  අද ඔහු, 30 වසරක ගුවන් යානා පැදවීමේ අත්දැකීමක් ද සහිතව එමිරේට්ස් ගුවන් සමාගමේ කපිතාන් වරයකු වශයෙන් සේවය කරයි.  Embry-Riddle විශ්ව විද්‍යාලය වැනි නම්ගත් ආයතනයකින් ගගනයානා ඉංජිනේරු උපාධියක් ලබාගැනීම සඳහා සාමාන්‍යයෙන් අමෙරිකන් ඩොලර් ලක්ෂ එකහමාරක් පමණ වැය කළයුතු වන අතර, ඊට අමතරව, ගුවන් නියමු සහතිකය සදහා නිම කළයුතු පියාසර පැය ප්‍රමාණය සම්පූර්ණ කරගැනීම පිණිස තවත් අමෙරිකන් ඩොලර් පනස් දහසක් පමණ වැයවේ. මෙය රුපියල් වලින්  මිලියන 25 ක් පමණ ලොකු වියදමකි.

 වාසනාවට, ගුවන් ගමන් ක්ෂේත්‍රය සම්බන්ධව මෙරටදීම සුදුසකම් ලබා ගැනීමේ ලබාගැනීමේ අවස්ථාවන් දැන් පවතී.  සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් පිළිගනු ලබන පියාසර පාසැල් 3 ක් දැනට ශ්‍රී ලංකාව තුල තිබේ.  මීට අමතරව පුහුණුකිරීමේ සහ සහතික ලබාදීමේ ක්‍රියාපිළිවෙතක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමිය විසින් ද ක්‍රියාත්මක කරයි. ගගනයානා අධ්‍යයන (Aviation Studies) හෝ ගගනයානා ඉංජිනේරු (Aviation Engineering) උපාධියක් තිබීම ගුවන් නියමුවකු වශයෙන් ලබන පුහුණුවට අමතර වටිනාකමක් එක්කරනු ඇත.

ඔබත් ගුවන් නියමුවකු වීමේ සිහිනය දකින්නේ නම් වගුවේ දක්වා ඇති ආයතන අමතා අවශ්‍ය තොරතුරු ලබාගෙන (අ) මෙරට තුලදී අධ්‍යාපනය ලැබීම සහ ඒ සදහා විදේශගතවීම (ආ) උපාධියක් සහිතව බලපත්‍රය ගන්නවාද නැද්ද යන කාරණා සමග යන වියදම හා කාලය, රැකියා තත්වය ආදිය  සලක බලා තීරණයකට එළැඹෙන්න.

ගගනගාමී/ගගනයානා ඉංජිනේරු

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගුවන් සේවා සම්බන්ධව තමන්ගේම උපාධියක් පිරිනමන පාඨමාලාවක් මෙහෙයවයි.  ඒෂියන් ඇවියේෂන් සෙන්ටර් ආයතනය ක්‍රියාත්මක කරන පාඨමාලාවේ උපාධිය පිරිනමන්නේ බ්‍රිතාන්‍යයේ කින්ග්ස්ටන් විශ්ව විද්‍යාලය විසිනි.  ගගනගාමී ඉංජිනේරු උපාධියක් හැදෑරීම හරහා ගුවන් නියමුවකු හෝ ඉංජිනේරුවකු ලෙසින් වෘත්තීය ජීවිතය ඇරඹීමට හැකියාව ලැබේ.

ගුවන් යානා නඩත්තු ඉංජිනේරු බලපත්‍රය යනු ඍජුවම රැකියාවක් ඉලක්ක කරගත් සුදුසුකමකි. ඒ සදහා පුහුණු පාඨ මාලා ස්කයිලයින් ඇවියේෂන් ආයතනය සහ ඒෂියන් ඇවියේෂන් ආයතනය විසින් ලබා දෙති.  මේ ආයතන දෙකම ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය ලබා ගෙන ඇත.

ගුවන් මගී සේවා හා ගුවන් සේවා පරිපාලනය

ගුවන් සේවාවන්හි මෙම උප ක්ෂේත්‍රයට සංචාරක සැලසුම්,  ප්‍රවේශපත්‍ර වෙන්කිරීම් හා  නිකුත්කිරීම්, අලෙවිකරණය මෙන්ම ගුවන් තොටුපොළක බිම් හා ගුවන් ගත මගීන් සේවා හා ගුවන්සේවා පරිපාලනය යන රැකියා වර්ග රැසක් අයත්ය.  චාරිකා සහ සංචාරක කර්මාන්තය පිළිබඳව සාමාන්‍ය දැනුමක් තිබීම මේ රැකියා සියල්ලටම පොදුවේ වැදගත්ය.

සංචාරක සැලසුම්,  ප්‍රවේශපත්‍ර වෙන්කිරීම් හා  නිකුත්කිරීම්, අලෙවිකරණයදී   කිසියම් සමාගමකට අනුබද්ධව සේවය කිරීම හෝ  පළපුරුද්ද ලබාගැනීමෙන් අනතුරුව චාරිකා සහ සංචාරක කර්මාන්තයට අදාළ තමන්ගේම කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයක් පවත්වා ගෙනයාමේ අවස්ථාවද උදා කර ගත හැක.  ඉනෝකා, අපට මෙහිදී ඉතා හොඳ උදාහරණයක් සපයයි.  පාසැල් අධ්‍යාපනය නිමකිරීමෙන් පසුව කෙටිකලක් පෞද්ගලික පාසැලක ඉගැන්වීමේ කටයුතුවල යෙදුනු ඇය අනතුරුව ප්‍රසිද්ධ චාරිකා සමාගමක මූලික මට්ටමේ රැකියාවකට ඇතුළුවූවාය.  මෙහිදී ඇයට Amadeus ක්‍රමය සම්බන්ධ පුහුණුවක් ලැබුණු අතර රාජකාරියේ අනෙකුත් අංශ පිළිබඳව ද දැනුමක් ලබාගත්තේ රැකියාවේ යෙදෙන අතරතුරමය.   වසර ගණනාවක සේවයෙන් පසුව එම සමාගමින් ඉවත්වූ ඇය තමන් සමග සේවයේ යෙදුනු තවත් කිහිප දෙනෙකු සමග අළුත් චාරිකා සමාගමක් පිහිටුවාගැනීමට එක්වූවාය.

ගුවන් මගී සේවා හා ගුවන් සේවා පරිපාලනයට අදාල නිපුණතාවන් සුදුසුකම් ලබාදෙන ආයතන කිහිපයක්ම ශ්‍රී ලංකාවේ තිබේ.  මේ සියල්ලම වාගේ ජාත්‍යන්තර ගුවන් චාරිකා සංගමය (IATA) හෝ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (Civil Aviation Authority) හෝ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ (Sri Lankan Airlines) විපරම යටතේ පුහුණුව හා සහතික නිකුත් කිරීම කරති.

මේ අංශයේ ඉදිරියට යන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවට දිගු ඉතිහාසයක් නැත. ඒ නිසාම ඒ අංශයේ ඉහල වෘත්තික සුදුසු කම් තවමත් දියුණුවී නැත.  මේ අංශයේ ඉදිරියට ගමන්කිරීම එ නිසා ප්‍රධාන වශයෙන්ම රැඳී පවතින්නේ රැකියාවේදී පුද්ගලයා දක්වන සමත්කම මතය.  මෙහිදී අනෙකුත් අයට වඩා වැඩි වාසියක් ලබාගැනීමට අපේක්ෂා කරන කෙනෙකුට උසස් වෘත්තීය සුදුසුකමක් හෝ පශ්චාත් උපාධි අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථා කීපයක් ඇත.  උදාහරණයක් ලෙස IATA ආයතනය විසින් ලබාදෙනු ලබන the Aviation Management Professional (AvMP) සහතිකය ගුවන් සමාගම්, ගුවන් තොටුපල හෝ සිවිල් ගුවන් සේවා අධිකාරී වෘත්තිකයනට හෝ  ගුවන් සේවා අංශයේ කළමනාකරන රැකියාවක් තුලින් ඉහලට යාමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සරිලන සුදුසුකමකි. ව්‍යාපාර පරිපාලනයේ ශාස්ත්‍රපති උපාධිය හෙවත් එම්.බී.ඒ. උපාධියක් යනුද ඕනෑම ක්ෂේත්‍රයක පරිපාලනයේ ඉහල යාමට යොදා ගත හැකි සුදුසු කමකි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*