වෘත්තීය මාර්ගෝපදේශනය – නිර්මාණ ශිල්පය (Design)


Posted on November 5, 2013  /  1 Comments

(මෙම ලිපිය 2013 පෙබරවාරි -සැප්තැම්බර් කාලය තුල “අද” පත්‍රයේ පලවුන ලිපි මාලාවක් අන්තර්ජාලයට ගෙන ඒමේ අරමුණෙන් පලකෙරේ. මෙය වැඩි දියුණු කිරීම සදහා ඔබගේ අදහස්/ප්‍රශ්න  කරුණාකර කොමෙන්ටුවක් ලෙස එක් කරන්න.  අධ්‍යාපනය හෝ පුහුණුව සදහා ආයතන ලැයිස්තුවක් සදහා www.educationforum.lk/higher-education/බලන්න.)

 

කලාව, තාක්ෂණය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය එකට හමුවන ස්ථානයක් ලෙස මෝස්තර සැකසුම් ශිල්පය හැඳින්විය හැක.  කලා, විද්‍යා සහ ව්‍යාපාර ඉගෙනීමෙන් පසුව බොහෝවිට සිදුවන කොටුවීමෙන් තොරව තමන්ගේ හැකියාවන් සහ අභිලාෂයන් අනුව සිය ජීවන වෘත්තිය වෙනස් කරගැනීමේ අවස්ථාව මෝස්තර සැකසුම් ශිල්පය ඉගෙනීමෙන් ලබාගත හැකිය.  මෝස්තර සැකසුම් ශිල්පය හරහා බිහිවන ප්‍රතිපල සාමාන්‍යයෙන් මූලික කොටස් 4 කට බෙදිය හැක.

  • කාර්මික නිෂ්පාදන (industrial Design)
  • ජීවන රටා සදහා නිෂ්පාදන හා සේවා (Life Style Designs)
  • මාධ්‍ය සහ සංනිවේදන නිෂ්පාදන හා සේවා (Media & Communication Designs)
  • ඇතුලත හෝ බාහිර අවකාශ නිර්මාණය හා සැකසුම (Interior or Exterior Design)

ලෝකයේ නිපදවෙන කවර නිෂ්පාදනයක් සඳහා වුවද සිදුකෙරෙන සැකසුම් කාර්මික සැකසුම්වලට අයත්ය.  මෝටර් රථ, යන්ත‍්‍ර සූත‍්‍ර වැනි දැවැන්ත නිෂ්පාදනවල සිට ලොකු කුඩා සියල්ලන්ම සඳහා වන ක‍්‍රීඩා භාණ්ඩ සහ පාවහන් සේම මේ නිෂ්පාදන ඇසුරුම පිණිස අවශ්‍යවන ඇසුරුම් ද්‍රව්‍ය දක්වා සියල්ල කර්මාන්ත නිෂ්පාදනවලට අඩංගුය.  ජීවන රටා නිෂ්පාදන හා සේවා වලට  අයත්වනුයේ මෝස්තර සහ ආභරණ නිර්මාණ  සහ මල් සැකසුම් සහ වෙනත් පුද්ගලයකුගේ ජීවිතයට සම්බන්ධවන දෑ නිර්මාණය හෝ සැකසුමයි.  මාධ්‍ය සහ සංනිවේදන සැකසුම්වලට අද සෑම ක්ෂේත‍්‍රයකටම අදාලවන ග‍්‍රැපික් සැකසුම්, විඩියෝ නිෂ්පාදන, සජීවීකරණ වීඩියෝ නිෂ්පාදනය සහ බහුමාධ්‍ය නිෂ්පාදන අයත්ය.  අවකාශ සැකසුම් යැයි හැඳින්වෙන්නේ අභ්‍යන්තර අවකාශ, බාහිර අවකාශ, උද්‍යාන අලංකාරය සහ ප‍්‍රදර්ශන සහ නාට්‍ය සහ චිත‍්‍රපට වැනි කලා නිර්මාණවලට අවශ්‍යවන පරිද්දෙන් පසුතල නිර්මාණය කිරීමයි.

මෙම ලිපියෙහි අප සාකච්ඡා කරන්නේ මෝස්තර හා ආභරණ සැකසුම්, ග‍්‍රැෆික් සැකසුම්, අභ්‍යන්තර සහ බාහිර අවකාශ සැකසුම් සම්බන්ධයෙනි.  කර්මාන්ත නිෂ්පාදන සැකසුම්, රැකියා මාර්ගයක් ලෙස අපේ රටේ එතරම් සංවර්ධනයවී ඇති බවක් දක්නට නොමැත. වීඩියෝ නිෂ්පාදන මාධ්‍ය සහ සංනිවේදනය යටතේ ද කලා නිර්මාණ සඳහා පසුතල නිර්මාණය රංගන කලා යටතේ ද සාකච්ඡා කෙරේ.

 ග‍්‍රැෆික් සැකසුම්කරණය

ග‍්‍රැෆික් සැකසුම්කරණ අංශයේ රැකියාවක් සඳහා තොරතුරු තාක්ෂණ මෙවලම් හැසිරවීමේ දක්ෂතාව මෙන්ම නිර්මාණශීලී හැකියාවක් ද තිබීම අවශ්‍යය. සංනිවේදන අවශ්‍යතාවන් ඉටුකරගැනීමට අවශ්‍ය දේ සැකසුම් කර විශ්ලේෂණය කර නිර්මාණශීලී දෘෂ්ටිමය භාණ්ඩයක් වශයෙන් එළිදැක්වීම ග‍්‍රැෆික් සැකසුම්කරුවන්ගේ කාර්යභාරයයි.  සිය සේවාලාභියාගේ පණිවිඩය ඉලක්ක කණ්ඩායමට පරිපූර්ණව සංනිවේදනයකරන සැකසුමක් සකස්කිරීම පිණිස ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පීන් විසින් මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික මෙන්ම චිත‍්‍රපට වැනි විවිධ මාධ්‍යන් භාවිතා කරනු ලබයි.  වෙළඳ දැන්වීම් කර්මාන්තය මෙන්ම විඩියෝ නිෂ්පාදන සහ චිත‍්‍රපට නිෂ්පාදන ක්ෂේත‍්‍රය ද සම්බන්ධයෙන් පරිගණක ආශ‍්‍රිත සැකසුම් ශිල්පය විසින් හඳුන්වාදී ඇති නව්‍ය නිර්මාණ හේතුකොටගෙන සාමාන්‍ය මුද්‍රිත සහ ග‍්‍රැපික් සැකසුම්වලින් ඔබ්බට විශාල ඉදිරි පිම්මක් පනින්නට සැකසුම් ශිල්පීන්ට අවස්ථාව ලැබී තිබේ.

ග‍්‍රැෆික් සැකසුම්, පරිගණක විද්‍යාවට සහ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ උපාධි පාඨමාලා සියල්ලකම පාහේ අනිවාර්ය අංගයකි. ඒ හැරුණුවිට, බහුමාධ්‍ය සම්බන්ධයෙන්ම විශේෂිත වූ උපාධි පාඨමාලා ද දැන් පවතී.  SAITM, APIIT වැනි පෞද්ගලික අධ්‍යාපන ආයතන මෙන්ම වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය වැනි රජයට අයත් ආයතන ද මෙවැනි පාඨමාලා පවත්වන ආයතනවලට උදාහරණ සේ දැක්විය හැක.  ඇකඩමි ඔෆ් ඩිසයින් නම් පෞද්ගලික ආයතනය සහ මොරටුව විශ්ව විද්‍යාලය ද ග‍්‍රැෆික් සැකසුම් අංශයට විශේෂීකරණය සහිත උපාධි ඉදිරිපත් කරති.

ග‍්‍රැෆික් සැකසුම්කරණය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලා මෙහෙයවන ආයතන බොහොමයකි.  මේ අතර මාසයකට සීමාවූ කෙටි පාඨමාලා ද වසරක් හෝ ඊට වඩා දිගු කාලයක් දිවෙන පාඨමාලා ද පවතී.  මේ පාඨමාලාවලින් බොහොමයක් රැකියා වෙළඳපළේ අවශ්‍යතාවන් සපිරීම පිණිස සෑහෙන්නට ඉඩ ඇතත් අප මෙහිදී අවධානය යොමුකළේ වසරක් හෝ ඊට වැඩිකලක අධ්‍යාපනය අවශ්‍යවන පාඨමාලාවන් පිළිබඳව පමණකි. අපට පෙනීගිය අන්දමට Academy of Multimedia Design සහ Raffles Institute of Higher Education ආයතන ග‍්‍රැෆික් සැකසුම්කරණය සම්බන්ධ දෙවසරක පාඨමාලා මෙහෙයවයි.  පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ පාඨමාලා මෙහෙයවන ආයතන සැමෙකක්ම පාහේ ග‍්‍රැෆික් සැකසුම්කරණ පාඨමාලා ද මෙහෙයවන බව දක්නට තිබේ.  මෙවැනි කෙටි පාඨමාලාවක් හැදෑරීම සම්බන්ධව උනන්දුවක් දක්වන සිසුන්ට එම ආයතන ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

මෝස්තර සැකසුම්කරණය 

ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසන අන්දමට මෙරට ඇඟලූම් කර්මාන්තය දැන් හුදු නිෂ්පාදන කර්මාන්තයක සිට මෝස්තර නිර්මාණය කේන්ද්‍ර කොටගත් කර්මාන්තයක් බවට සීග‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතී.  මෝස්තර නිර්මාණ පිළිබඳව අධ්‍යාපනය ලබාදෙන ආයතන රැසක් මෙරට තුල බිහිවන්නට ප‍්‍රධාන හේතුව මෙය විය හැකිය.

මෝස්තර නිර්මාණය සහ භාණ්ඩ සංවර්ධනය සම්බන්ධ උපාධි පාඨමාලාවක් 2001 වර්ෂයේදී මොරටුව විශ්ව විද්‍යාලය විසින් අරඹන ලද අතර මේ සඳහා ප‍්‍රථමවරට සිසුන් 40 ක් බඳවාගන්නා ලදී.  කර්මාන්ත අධ්‍යයනය පිළිබඳව විවෘත විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවන උපාධි පාඨමාලාවේ මූලික අවධානය ද රෙදිපිළි සහ මෝස්තර කර්මාන්තයයි.

The Academy of Design (AoD), Colombo,සහ Lanka Institute of Fashion Design (LIFT) ආයතන ද මෝස්තර සැකසුම් ශිල්පය පිළිබඳ උපාධි හැදෑරීම පිණිස අවස්ථාව සලසන පෞද්ගලික ආයතනයි.  මෙම ආයතන විසින් පිළිවෙලින් බි‍්‍රතාන්‍යයේ නොදම්බි‍්‍රයා සහ නෝර්තම්ප්ටන් විශ්ව විද්‍යාල වෙතින් මෝස්තර සැකසුම් ශිල්පී උපාධි ලබාගැනීමට හැකියාව තිබේ.

AoD ආයතනය විසින් මෙහෙයවනු ලබන වසරක පදනම් පාඨමාලාව හරහා උපාධි පාඨමාලාවට ප‍්‍රවේශවීමේ අවස්ථාව තිබේ.  LIFT ආයතනය ද නෝතම්ප්ටන් විශ්ව විද්‍යාල උපාධියෙන් අවසන් කළහැකි ඩිප්ලෝමා පාඨමාලාවක් මෙහෙයවයි.  මෙම ක්ෂේත‍්‍රයට සම්පූර්ණයෙන්ම ආගන්තුක සිසුවකුට ඒ පිළිබඳව සිය හැකියාව සහ දක්ෂතාව මැන බැලීමට ඩිප්ලෝමා පාඨමාලාව හොඳ ආරම්භයකි.  Raffles ආයතනය විසින් ලබාදෙන ඩිප්ලෝමා පාඨමාලාවට ද හොඳ පිළිගැනීමක් තිබේ.  රාජ්‍ය ආයතනයක් වන ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් ද ඩිප්ලෝමා පාඨමාලාවක් මෙහෙයවනු ලබන අතර මෙයට වැය කළයුතුවන්නේ සාපේක්ෂව අඩු මුදලකි.  ශ‍්‍රී ලංකා පදනම් ආයතනයට සම්බන්ධ ඩිජිටල් ෆිල්ම් ඇකැඩමිය මෝස්තර සහ රෙදිපිළි සැකසුම්කරණය පිළිබඳ සහතික පත‍්‍ර පාඨමාලාවක් මෙහෙයවයි.

 ආභරණ සැකසුම්කරණය

මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පවසන අන්දමට ආභරණ සැකසුම ශිල්පීන්ගේ හිඟයක් මෙරට තුල පවතින හෙයින් කටුනායක පිහිටා ඇති ආභරණ කර්මාන්තශාලාවලට විදේශීය සැකසුම් ශිල්පීන්ගේ සේවය ලබාගැනීමට සිදුවී තිබේ.  කෙසේවෙතත්, කුමන හේතුවක් නිසා හෝ මේ අංශයේ පුහුණුවීමේ අවස්ථා ප‍්‍රමාණවත් තරම් පවතින බවක් නොපෙනේ.  ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ Raffles ආයතනය විසින් ආභරණ සැකසුම්කරණ පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලා මෙහෙවනු ලබයි.  මැණික් හා ස්වර්ණාභරණ ආයතනය වෙතින් කෙටිකාලීන සහතික පත‍්‍ර පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව තිබේ.  කොළඹ, හිදැල්ලන සහ රත්නපුර පිහිටි මධ්‍යස්ථානවල මෙන්ම කීල්ස් ජෙම්ස් හා මල්ලිකා ගෘහ විද්‍යා පාසැල සහ  මරදාන සහ වරකාපොල පිහිටි ශ‍්‍රී ලංකා කාර්මික විද්‍යාලවල ද මෙම පාඨමාලාව පැවැත්වේ.  මැණික් සහ ස්වරණාභරණ අංශයට විශේෂීකරණයක් සහිතව පැවැත්වෙන උපාධි පාඨමාලාව ඇත්තේ මොරටු විශ්ව විද්‍යාලයේය.

 අභ්‍යන්තර අවකාශ සැකසුම්කරණය (Interior Design)

පවතින ගොඩනැගිල්ලක අභ්‍යන්තර අලංකාරයට අවශ්‍ය සැකසුම් සකස්කිරීම මෙන්ම ගොඩනැගිල්ලක ඉදිකිරීමේ අවස්ථාවේ සිටම වාස්තු විද්‍යාඥයින් සමග එක්වී එම අලංකරණ කටයුතු සැකසුම්කිරීම ද අභ්‍යන්තර අවකාශ සැකසුම් ශිල්පියකු විසින් සිදුකරනු ලබයි.  සිය සේවාලාභියාගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ගොඩනැගිල්ලේ අභ්‍යන්තර අලංකරණය සඳහා සේවාලාභියා සමග සමීපයෙන් කටයුතු කිරීම මොවුන්ගේ රාජකාරියයි.

අභ්‍යන්තර අලංකරණ ශිල්පීන් සාමාන්‍යයෙන් ඒ සම්බන්ධ උපාධියක් සහිත පුද්ගලයින් වන නමුදු ඩිප්ලෝමාවක් හෝ උසස් ඩිප්ලෝමාවක් ලැබීමෙන් පසුව මේ ක්ෂේත‍්‍රයට අවතීර්ණවීමේ හැකියාව පවතී.  Raffles ආයතනය විසින් මෙහෙයවනු ලබන ඩිප්ලෝමාව මේ සම්බන්ධයෙන් නමගත් එකකි.  ඒ හැරුණුවිට, ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ OCBT ආයතන විසින් ද ඩිප්ලෝමා පාඨමාලා ඉදිරිපත් කරනු ලබයි.

අභ්‍යන්තර සැකසුම් ශිල්පය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේදී ප‍්‍රථමවරට උපාධි පාඨමාලාවක් මෙහෙයවනු ලබන්නේ Academy of Design ආයතනය විසිනි.  බි‍්‍රතාන්‍යයේ නොතම්බි‍්‍රයා විශ්ව විද්‍යාලය සමග එකමුතුවෙන් මෙම උපාධිය පිරිනමනු ලැබේ.  මැලේසියානු විශ්ව විද්‍යාලයක් වන Limkokwing විශ්ව විද්‍යාලය සමග එක්ව ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය ^NIBM)ආයතනය විසින් මෑතකදී උපාධි පාඨමාලාවක් අරඹා තිබේ. CINEC ආයතනය විසින් අභ්‍යන්තර සැකසුම්කරණ සහ දේපල සංවර්ධනය පිළිබඳ උපාධියක් ආරම්භ කර ඇත.

 බාහිර අවකාශ සැකසුම්කරණය සහ උද්‍යාන අලංකරණ ශිල්පය (Exterior Design/Landscaping)

උද්‍යාන අලංකරණ ශිල්පය පිළිබඳව නවතම උපාධියක් මොරටුව විශ්ව විද්‍යාලයේ පාඨමාලා අතරට එක්කර තිබේ. උසස් ඉදිකිරීම් පුහුණුකිරීමේ ආයතනය විසින් මේ විෂයය සම්බන්ධව මෙහෙයවන ඩිප්ලෝමා පාඨමාලාව ද අලූත්ම එකකි.

1 Comment


Leave a Reply to Mahamaya College

Your email address will not be published. Required fields are marked *

*

*

*