වෘත්තීය මාර්ගෝපදේශනය- සිවිල් ඉංජිනේරු සහ ඉදිකිරීම් (Civil Engineering & Construction)


Posted on November 1, 2013  /  0 Comments

(මෙම ලිපිය 2013 පෙබරවාරි -සැප්තැම්බර් කාලය තුල “අද” පත්‍රයේ පලවුන ලිපි මාලාවක් අන්තර්ජාලයට ගෙන ඒමේ අරමුණෙන් පලකෙරේ. මෙය වැඩි දියුණු කිරීම සදහා ඔබගේ අදහස්/ප්‍රශ්න  කරුණාකර කොමෙන්ටුවක් (comment) ලෙස එක් කරන්න.  අධ්‍යාපනය හෝ පුහුණුව සදහා ආයතන ලැයිස්තුවක් සදහා http://www.educationforum.lk/higher-education/බලන්න.)

 

සිවිල් ඉංජිනේරු සහ ඉදිකිරී‍ම් ව්‍යාපෘතීන් සාමාන්‍යයෙන් වෘත්තීන් රැසක එකමුතුවකින් ක්‍රියාත්මක වේ. ව්‍යාපෘති සැලසුම් කිරීම සහ අධීක්ෂණය කිරීම පිණිස ඉංජිනේරුවන්ද (Engineers), ඉදිකිරීම් කළමනාකරනය කිරීම සදහා ඉදිකිරීම් කළමනාකරුවන් හා තාක්ෂණඥයින් (Construction Managers) හා වැඩ සුපරීක්ෂකවරුන්ද (work Supervisors) අවශ්‍යය. ව්‍යාපෘතියට අවශ්‍ය ගොඩනැගුම් ද්‍රව්‍ය හා අවශ්‍ය ශ්‍රමය ප්‍රමාණාත්මකව ගණනය කරනු ලබනුයේ ප්‍රමාණ තක්සේරුකරුවන් (quantity surveyors) විසිනි.

සිවිල් ඉංජිනේරු, ඉදිකිරීමේ තාක්ෂණඥ මෙන්ම ප්‍රමාණ තක්සේරුකරු වැනි වෘත්තීන්හි යෙදෙන වෘත්තිකයින්ගෙන් සමහරෙක් ස්වාධීන උපදේශකයින් බවට හෝ තමන්ගේම ව්‍යාපාර හිමි ව්‍යවසායකයින් බවට පරිවර්තනය වෙති. අද ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නම් දරා සිටින Maga වැනි දැවැන්ත සමාගම් බිහිවී ඇත්තේ අතීතයේදී එවැනි වෘත්තිකයින් විසින් පටන් ගත් කුඩා ව්‍යාපාර තුලිනි. එපමණක් නොව, තවත් සමහර සිවිල් ඉංජිනේරුවෝ සිය සුදුසුකම්වලට අමතරව කළමනාකරන සුදුසුකම් ද ලබාගැනීමෙන් සමාගම්වල සාමන්‍යාධිකාරීවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් බවට පත්වෙති.

මේ ක්ෂේත්‍රයේ මූලාරම්භයක් ලබාගන්නේ කෙලෙසද?
ඩිප්ලෝමා
තමන්ට සුදුසුම රැකියාව පවතින්නේ මෙම ක්ෂේත්‍රයේ යැයි පැහැදිලි නොමැති කෙනෙකුට ඩිප්ලෝමා පාඨමාලාවකින් සිවිල් ඉංජිනේරු සහ ඉදිකිරීම් පිලිබඳ මූලික අත්දැකීමක් ලබාගත හැක. විශේෂයෙන්ම ඉදිකිරීම් කළමනාකරනය සහ ප්‍රමාණ තක්සේරුකරු වැනි අංශයන්හි රැකියාවකට ඇතුළුවීමට ඩිප්ලෝමා සහතිකයක් සෑහේ. පාසැල් අධ්‍යාපනය නිමකර වසර දෙකක් වැනි කාලයක් ඇතුලත මේ හරහා රැකියාවකට ඇතුළුවිය හැකි වනු ඇත.

ප්‍රමාණ තක්සේරුකරු ඩිප්ලෝමා පාඨමාලා මෙහෙයවන දේශීය ආයතන රැසකි. උසස් ඉදිකිරීම් පුහුණු ආයතනය (Advanced Construction Training Academy), කලම්බු ස්කූල් ඔෆ් කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි(Colombo School of Construction Technology), ශ්‍රී ලංකා ප්‍රමාණ තක්සේරුකරුවන් ගේ ආයතනය (Institute of Quantity Surveyors of Sri Lanka), උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (Institute of Advanced Technological Education) සහ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය (University of Vocational Technology) මේ අතරින් ප්‍රධානය. මින් සමහරක් රාජ්‍ය අංශයට සම්බන්ධ ආයතන වන අතර අනෙක් ඒවා පෞද්ගලික අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මේ හැරුණුවිට, බ්‍රිතාන්‍ය Edexcel හෝ City & Guilds ඩිප්ලෝමා වැනි විදේශීය සුදුසුකම් පිරිනමන ආයතන රැසක් ද මෙරට තුල ක්‍රියාත්මකය. මේ කවර ඩිප්ලෝමාවක් හෝ ආරම්භකිරීමට පෙර එම ආයතනයෙන් සුදුසුකම් ලැබූ සිසුන් රැකියා ලබාගැනීමේදී අත්කරගෙන ඇති සාර්ථකත්වය සොයාබැලීම මෙන්ම ක්ෂේත්‍රයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා එම ඩිප්ලෝමාව යොදාගතහැකිදැයි එම ආයතනවලින් අසා දැනගැනීම අතිශයින් වැදගත්ය.

සිවිල් ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ටද රැකියා වෙළඳපලේ හොඳ ඉල්ලුමක් ඇත. Maga ඉදිකිරීම් ආයතනය පවසන අන්දම‍ට ඔවුන්ට අවශ්‍ය පමණට ඩිප්ලෝමාධාරීන් සංඛ්‍යාව සොයාගැනීම අපහසුය. එමෙන්ම ඔවුන් පවසන්නේ ඔවුන් බඳවාගත් ජාතික ඩිප්ලෝමාධාරීන්ගෙන් බොහෝදෙනෙක් සමාගම තුල අත්දැකීම් ලබාගැනීමෙන් අනතුරුව ජ්‍යෙෂඨ කළමනාකාර තනතුරු දක්වා උසස්වීම් ලබාගැනීමට සමත්ව තිබෙන බවයි.

ඩිප්ලෝමා පාඨමාලාවකින් ආරම්භකර රැකියාව කරන අතරතුර වැඩිදුර පාඨමාලා හැදෑරීමෙන් වරලත් ඉංජිනේරුවකු බවට හෝ ඉංජිනේරු උපාධිධාරියකු බවට උසස්වීමේ හැකියාව දැන් පවතී.

ඉංජිනේරු උපාධි
ඉහත දැක්වූ ආකාරයේ අවස්ථා පැවතුන ද මුදල් සහ කාලය වැයකිරීමට හැකියාවක් ඇති කෙනෙකුට සිවිල් ඉංජිනේරු, ඉදිකිරීම් කළමනාකරන හෝ ප්‍රමාණ තක්සේරුකරු උපාධියක් ලබාගැනීම වඩාත් සුදුසුය. එවැනි ආරම්භයක් හරහා වෘත්තීය මාර්ගයේ ඉහළට ගමන්කිරීම වඩා පහසුය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුල නොමිලයේ ඉහතකී සියළුම උපාධි ලබාගත හැකිය. නමුත් මෙම පාඨමාලා වලට ඇතුලත්වීම අතිශයින් තරඟකාරී බව අමුතුවෙන් කිවයුතු නැත. එමෙන්ම විවිධ ගැටළු හේතුවෙන් උපාධිය ලබා ගැනීමට දිගු කාලයක් ගතවීමට ද ඉඩ තිබේ. මුදල් ගෙවීමේ හැකියාවෙන් යුතු සිසුන්ට විදේශීය විශ්ව විද්‍යාලවලින් සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාල බොහෝ උපාධිවලට දේශීයව අධ්‍යාපනය ලබාදෙන ආයතන බොහොමයක් ඇත. Colombo International Nautical & Engineering College (CINEC), Northshore College of Business and Technology (NCBT), South Asian Institute of Technology & Medicine (SAITM) හා Western College for Management & Technology (WCMT) මේ ආයතන අතරින් කිහිපයකි. එමෙන්ම ආරම්භයේදී ආරක්ෂක අංශවලට පමණක් සීමා‍වී තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පසුගිය වසරේ සිට සාමන්‍ය සිසුනට ද විවෘත කරන ලද අතර එහිදී සිවිල් ඉංජිනේරු උපාධිය හැදෑරීමේ පහසුකම් තිබේ.

ග්‍රැජුවේට් ඩිප්ලෝමා (Graduate Diploma)
අ.පො. ස. (උසස් පෙළ) සුදුසුකම්වල හෝ වෙනත් පිළිගත් උසස් ඩිප්ලෝමාධාරීන්ට මෙරට ඉංජිනේරු වෘත්තියේ වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් මෙහෙයවනු ලබන ග්‍රැජුවේට් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමේ හැකියාව පවතී. වරලත් ඉංජිනේරු තත්වය ලබා ගැනීමේදී මෙම ග්‍රැජුවේට් ඩිප්ලෝමාව සිව් අවුරුදු උපාධි පාඨමාලාවකට සමාන සේ සලකන බව එම වරය ප්‍රදානය කරන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය පවසයි.

2011 වර්ෂයේදී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය(IESL) විසින් බිහිකරන ලද ග්‍රැජුවේට් ඩිප්ලෝමාධාරීන්ගේ සංඛ්යා‍ව 18 කි. මෙයින් 12 දෙනෙක් හදාරා ඇත්තේ සිවිල් ඉංජිනේරු විෂයයයි. රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් එම වසරේදී ලබාදී ඇති ඉංජිනේරු උපාධි සංධ්‍යාව 1195 ක් වන අතර විවෘත විශ්ව විද්‍යාලය වැනි වෙනත් රාජ්‍ය අධ්‍යාපන ආයතන විසින් ඉංජිනේරු උපාධි 225 ක් ලබාදී ඇත. පෞද්ගලික අංශයේ ආයතනවලින් ඉංජිනේරු උපාධිධාරීන් 71 ක්ද බිහිකල බවට වාර්තා පවතී. මේ සමග සසඳන විට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් බිහිකර ඇති ඉංජිනේරු වෘත්තිකයින් සංඛ්‍යාව නොසලකා හැරිය යුතු තරම් සුළුයයි කෙනෙකුට හැඟෙන්නට ඉඩ ඇතත්, ඉංජිනේරු වෘත්තියට සුදුසුකම් ලබාගත හැකි විකල්ප අවස්ථාවක් ලෙස මෙම ග්‍රැජුවේට් ඩිප්ලෝමාව ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ වැදගත් තැනක් ගනී.

ඉංජිනේරු වෘත්තියේ ඉදිරියට යන්නේ කෙසේද?

රැකියාව කරන අතරතුරම සිය දැනුම පුළුල්කරගනිමින් සහ අත්දැකීම් ලබාගනිමින් වෘත්තියේ ඉහළට යාම සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ දකින්නට ලැබෙන්නකි. උදාහරණයක් ලෙස මාගා ඉදිකිරීම් ආයතනයේ සිවිල් ඉංජිනේරුවන් ලෙස සේවය කරන 450 දෙනෙකුගෙන් 130 ක්ම අත්දැකීම් සමග උසස්වීම් ලැබූ ඩිප්ලෝමාධාරීන්ය. කෙසේවුවත්, සිය වෘත්තියේ ඉහළම ස්ථානය ලෙස ඉංජිනේරු වෘත්තිකයින් සලකන වරලත් සහතිකය ලබාගැනීම සඳහා නම් පාඨමාලා හැදෑරීම තුලින් උපාධියක් ලබා ගැනීම හෝ IESL ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් ලබා ගැනීම අවශ්‍යය.

ඉංජිනේරු වෘත්තියේ වරලත් සහතිකය
වරලත් සහතිකය යනු, ජ්‍යෙෂ්ඨ තනතුරක ක්‍රියාකිරීම පිණිස ඉංජිනේරු වෘත්තිකයකුගේ වෘත්තීය හැකියාව පිළබඳව ලබාදෙන සහතිකයයි. ශ්‍රී ලංකාවේ මේ සඳහා පාර්ලිමේන්තු පනතක් මගින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයට බලය ලබාදී තිබේ.

ඉංජිනේරු ක්ෂේත්‍රයේ සිව් අවුරුදු උපාධියක් හෝ ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් අපේක්ෂා කරන වෘත්තීය පළපුරුද්ද සහ අනෙකුත් සුදුසුකම් සපුරාගැනීමෙන්ද, ප්‍රශ්න පත්‍ර දෙකකට සාර්ථකව පිළිතුරු සැපයීමෙන්ද හා සම්මුඛ පරීක්ෂණයකින් ද අනතුරුව එම ආයතනය විසින් ඉංජිනේරු වෘත්තිකයිනට වරලත් සුදුසුකම පිරිනමනු ලැබේ. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සහ ඒ ඒ රටවල වෘත්තීය ආයතන අතර අත්සන් කරන ලද ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලාංකික වරලත් ඉංජිනේරුවනට සංවර්ධිත රටවල් රැසක සේවය කිරීමේ අවස්ථාව හිමිය. ඉහත සදහන් කළ පරිදි ග්‍රැජුවේට් ඩිප්ලෝමාව හැදෑරීමට ඇතුළු කර ගැනීම  උසස් පෙළ සුදුසු කම් සිට මට්ටම් ගණනාවකින් කෙරෙන බැවින් උනන්දුව හා හැකියාව ඇති කෙනෙකුට විශ්ව විද්‍යාල මාවතෙන් බැහැරව වරලත් සහතිකයක් ලබා ගැනීමේ අවස්තාව දැන් ඇත.

ඉංජිනේරු වෘත්තීය සමග සසඳනවිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කළමනාකරන සහ ප්‍රමාණ තක්සේරුකරු වෘත්තීන් එතරම් සංවර්ධනය වී නැත. ඉදිකිරීම් කළමනාකරන සහ ප්‍රමාණ තක්සේරුකරු අංශවල ප්‍රධාන ආයතන වනුයේ, පිළිවෙලින්, ජාතික ඉදිකිරීම් සංගමය සහ ශ්‍රී ලංකා ප්‍රමාණ තක්සේරුකරුවන්ගේ ආයතනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*