වෘත්තීය මාර්ගෝපදේශනය- පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය (Computer Science & Information Technology)


Posted on December 1, 2013  /  4 Comments

(මෙම ලිපිය 2013 පෙබරවාරි -සැප්තැම්බර් කාලය තුල “අද” පත්‍රයේ පලවුන ලිපි මාලාවක් අන්තර්ජාලයට ගෙන ඒමේ අරමුණෙන් පලකෙරේ. මෙය වැඩි දියුණු කිරීම සදහා ඔබගේ අදහස්/ප්‍රශ්න  කරුණාකර කොමෙන්ටුවක් ලෙස එක් කරන්න.  අධ්‍යාපනය හෝ පුහුණුව සදහා ආයතන ලැයිස්තුවක් සදහා http://www.educationforum.lk/higher-education/බලන්න.)

 

තොරතුරු තාක්ෂණය යනු සිංහල ශබ්ද කෝෂයට අළුතින් හඳුන්වා දෙන ලද වචනයක් වුවද අද එදිනෙදා ජන ජීවිතයේ තොරතුරු තාක්ෂණයෙන් තොර අංශයක් නොමැති තරම්ය. වැඩිහිටියන්ගේ රාජකාරි කටයුතුවලදී මෙන්ම දරුවන් අතර ජනප්‍රිය ක්‍රීඩාවලදී ද පරිගණක මෘදුකාංග (Software) සහ පරිගණක දෘඪාංග (Hardware), පරිගණක පද්ධති සහ ජාල ද (Computer Systems & Networks), දත්ත සමුදායයන් (Databases) ද අන්තර්ජාලය මෙන්ම බහුමාධ්‍ය (Internet and Multi-media) තාක්ෂණයන් නිරන්තරයෙන් භාවිත කරනු ලබයි.

මේ අංශයේ රැකියා වෙළදපළ කොයි ආකාරයේද?

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතියට මග පෙන්වන්නා ලෙස සැලකෙන රජයේ ආයතනයක් වන තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ ආයතනය (හෝ ICTA) විසින් 2009 වර්ෂයේදී පරිගණක විද්‍යා සහ තොරතුරු තාක්ෂණ (CS&IT) අංශයේ රැකියාවන් පිළිබඳව පර්යේෂණයක් සිදුකර තිබේ. මෙහිදී එම අංශයට අදාල රැකියා ප්‍රභේද 14 ක් හඳුනාගෙන ඇත. මේ අතරින් සියයට 54 ක් ම මෘදුකාංග ඉංජිනේරු (Software Engineer), පද්ධති සහ ජාල පරිපාලනය (Systems & Network Administration) හා දත්ත පරිපාලනය (Management Information Systems හෝ Database Development and Administration) යන රැකියා එකතුවෙන් සැදී ඇති බව පෙනේ. ‘අනිත්’ හෝ “Other’ යන කාණ්ඩයේ ඇති රැකියාවන් වලින් ඉහල ප්‍රතිශතයක් පෙන්වන්නේ තාක්ෂණික සහය (Tech Support) තත්ත්ව සහතික (Quality Assurance) යන අංශ වලින්ය.

IT Workforce in Sri Lanka, by Occupation

1. Programming / Software Engineering 26%
2. Systems and Network Administration 11%
3. Management Information Systems 8%
4. Database Development and Administration 6%
5. Media & Internet 4%
6. Other* 46%

Source: IT Workforce Survey by ICTA, 2009
Notes: *Other category includes Technical support, 17%; Business Analysis and System Integration, 8%; Software Quality Assurance, 7%; IT Sales and Marketing, 5%; Project/Programme Management, 5%; Solutions and Technical Architecture, 1%; Technical Writing, 1%; and IT Research and Development, 1%

සුදුසුකම් ලබන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පෞද්ගලික විශ්ව විද්‍යාල විසින් වැඩිම සංඛ්‍යාවක් උපාධිධාරීන් බිහිකිරීමට සමත්ව ඇත්තේ පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ විෂයන්ගෙනි. 2010/2011 වර්ෂ තුලදී එම ආයතන විසින් බිහිකරන ලද පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් ගණන 1552 කි. එය පුද්ගලික ආයතන විසින් බිහිකරන ලද මුළු උපාධිධාරීන් සංඛ්‍යාවෙන් සියයට 73 කි.

ලබාගත හැකි සුදුසුකම්, General Computing, Software Engineering, Computer Systems & Networks, Database Development and MIS හා Internet & multimedia වෘත්තීය මාර්ග පහක් අනුව සංවිධාන කර දක්වා ඇත.

පරිගණක විද්‍යා අධ්‍යයනය (General Computing)
සිය දක්ෂතාවය සහ මතු බලාපොරොත්තු වලට සරිලන ලෙස උසස් අධ්‍යාපනය සදහා පරිගණක විද්‍යා උපාධියක් හෝ තොරතුරු තාක්ෂණ උපාධියක් යන දෙකින් එකක් තෝරාගැනීමේ අවස්ථාව ශිෂ්‍යයකුට පවතී. තාක්ෂණයේ වඩා සංකල්පමය අංශය පිළිබඳව ඉගෙනීමට කැමැත්තක් දක්වන කෙනෙකුට පරිගණක විද්‍යා උපාධියක් තෝරාගැනීමට හැකිය.

පරිගණක විද්‍යාව හෝ තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන පෞද්ගලික (දේශීය හෝ විදේශීය) විශ්ව විද්‍යාල 20 කට අධික සංඛ්‍යාවක් රට තුල තිබේ. තොරතුරු තාක්ෂණ ප්‍රථම උපාධිය (BIT) ලබාදීම සඳහා ඉගැන්වීම කරන ආයතන අතර ESOFT Computer Studies, IDM Computer Studies, MATRIX Institute of Information Technology සහ OpenArc School of Business and Technology යන ආයතන කැපී පෙනේ. බ්‍රිතාන්‍ය පරිගණක ආයතනය (BCS) ඕස්ට්‍රේලියානු පරිගණක ආයතනය (ACS) වැනි වෘත්තීය සුදුසුකම් ගත් කල ඒවා පරිගණක විද්‍යා සහ තොරතුරු තාක්ෂණ ප්‍රථම උපාධියකට සම වෘත්තීය සුදුසුකම් ලෙස සැලකේ. බ්‍රිතාන්‍ය පරිගණක ආයතනයෙන් ලබාගන්නා ඉහල ඩිප්ලෝමාවක් සහ තවත් නියමිත අවශ්‍යතාවන් කිහිපයක් සපුරාලන අයට කෙලින්ම පශ්චාත් උපාධි සුදුසුකම් සඳහා ඉල්ලුම් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.

මුදුකාංග 9software)

මුදුකාංගකරණය සියළුම පරිගණක විද්‍යා උපාධි පාඨමාලාවන්හි ප්‍රධානතම අංගයක් වුව ද එම අංශයෙන් ඉදිරියට යාමට නම් වැඩිදුර සුදුසුකම් ලබාගැනීමට අවශ්‍යය. Oracle Java Certified Professional (OCJP) සුදුසුකම සහ C# programming වැනි අංශවල හැකියාවන් පිළිබඳව විශේෂ දැනුම ලබාගැනීම මෙහිදී වැදගත්ය.

පරිගණක පද්ධති සහ ජාල ( Computer Systems and Networks)

සිය ආයතනයෙහි යොදාගන්නා පරිගණක පද්ධති සහ ජාල සංවර්ධනය කිරීමට මෙන්ම ඒවා නඩත්තුකිරීම සදහා එක් එක් ආයතනයේ විශාලත්වය අනුව ඒ සඳහා වෙන්වූ පුද්ගලයකු හෝ අංශයක් සෑම ආයතනයකටම අවශ්‍යය. කුඩා ආයතන විසින් බො‍හෝවිට කරනු ලබන්නේ මේ සේවා අවශ්‍යතාවයන් බහිර්සේවාපණය (outsource) කිරීමය.

පෞද්ගලික අංශයේ විශ්ව විද්‍යාල රැසක් විසින්ම පරිගණක පද්ධති සහ ජාලකරණය සඳහාම වෙන්වූ උපාධි ඉදිරිපත් කරනු ලබයි. මූලික පරිගණක උපාධියක් සහිතව හෝ රහිතවල‍, පරිගණක පද්ධති සම්පාදකයින් වන CISCO, Juniper, Linux, Microsoft, Redhat, වැනි ආයතන විසින් ලබාදෙන සහ සහතික පත්‍ර ලබාගැනීම, පරිගණක පද්ධති සහ ජාලකරණ අංශයේ රැකියාවක් කිරීමට අපේක්ෂා කරන හෝ එම අංශයෙන් වෘත්තීය දියුණුවක් ලබාගැනීමට අපේක්ෂාකරන බොහෝ දෙනෙකු විසින් ගනුලබන පියවරකි. Associate සිට Specialist, Professional හා Master ආදී වශයෙන් අනුක්‍රමයෙන් ඉහළට යන සුදුසුකම් මෙම ‍සම්පාදක ආයතන විසින් පිරිනමනු ලැබේ.

දත්ත සමුදාය (Databases)
දත්ත සමුදායක් MS Excel පැතුරුම්පතක් (spreadsheet) හෝ MS Access දත්ත පද්ධතිය තරමට සරල විය හැක. එසේත් නැතිනම් Oracle, Microsoft හෝ SAP වේදිකාවක් මත පදනම්වූ සංකීර්ණ Enterprise System දත්ත පද්ධතියක් විය හැක.

රැකියා ඇබෑර්තු සදහා ඉදිරි පත් කෙරෙන සෑම ජීව දත්ත පත්‍රයක පරිගණක සහතික දැක්වෙන නමුත් වගුවකින් දත්ත ඉදිරිපත්කිරීමේදී එක්සෙල් පැකේජයේ පවතින Pivot Table වැනි සරල මෙවලමක් නිර්මාණශීලීව යොදාගැනීමට හැකි අයෙක් සොයා ගැනීම අපහසුය. දත්ත සමුදාය සංවර්ධනය සහ නඩත්තුව කේන්ද්‍ර කරගත් වෘත්තීන් සදහා නම් Microsoft, Oracle හෝ වෙනත් දත්ත සමුදා වේදිකාවන් පිළිබඳව ඉගෙනීම අත්‍යවශ්‍යය. පුහුණුව සපයන ආයතන පිලිබඳ වැඩි තොරතුරැ සදහා ඔබට දැනට සිටින පරිගණක ගුරුවරයා, සේව්‍යයා හෝ හඳුනන වෘත්තිකයෙකුගෙන් විමසීම මැනවි.

තොරතුරු පද්ධති කළමනාකරනය (MIS)
මෙහෙයුම් කටයුතු සඳහා මෙන්ම තීරණ ගැනීම සහ දිගුකාලීන සැලසුම් සකස්කිරීම සඳහා ද ව්‍යාපාරයනට සිය තොරතුරු පද්ධති කළමනාකරණය කරගැනීම අවශ්‍ය වේ. තොරතුරු පද්ධති කළමනාකරනය සඳහා දත්ත සමුදායයන් සම්බන්ධව මෙන්ම අනෙකුත් පරිගණක හැකියාවන් ද ව්‍යාපාර ක්‍රියාවලීන් පිළබඳව දැනුමක් ද තිබිය යුතුය. මේ විෂයය පිළිබඳ උපාධි Colombo International Nautical & Engineering College; Gateway Graduate School; GISM – Graduate Institute of Science & Management; Informatics Institute of Technology, National Institute of Business Management; PATHE-Peoples Academy for Tertiary & Higher Education, Thames College of Further and Higher Education, Royal Institute of Colombo සහ Singapore Informatics උසස් අධ්‍යාපන ආයතන විසින් මෙහෙයවනු ලබයි.

අන්තර්ජාල සහ බහුමාධ්‍ය (Multimedia)
අන්තර්ජාල සහ බහුමාධ්‍ය අංශයේ විශේෂ දැනුම අවශ්‍යවන රැකියා අවස්ථා සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ පවතින්නේ සාපේක්ෂව අඩු සංඛ්‍යාවකි. මෙම ලිපිය ආරම්භයේ දැක්වූ පර්යේෂණයට අනුව 2009 වර්ෂයේදී එය පරිගණක අංශයේ සමස්ත රැකියාවලින් සියයට 4 ක් පමණකි. නමුත්, සියළුම පරිගණක වෘත්තිකයන් තුල කිසියම් ප්‍රමාණයකට අන්තර්ජාල සහ බහුමාධ්‍ය නිපුණතාවක් තිබිය යුතුයැයි අපේක්ෂා කෙරේ. අන්තර්ජාල යෙදුමක් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍යවන නිපුණතා පෙළක් හඳුන්වනු ලබන්නේ අට්ටියක් (stack එකක්) වශයෙනි.

උදාහරණයක් වශයෙන් LAMP නමින් හඳුන්වන අට්ටියට සිව් වර්ගයක ශිල්ප ඥාණයන් අවශ්‍යයය. මෙහෙයුම් පද්ධති සඳහා Linux ද, සේවාදායකය(server) සඳහා Apache ද, දත්ත සමුදාය සංවර්ධනය පිණිස MySQL ද, ජාල සංවර්ධනය පිණිස PHP දැනුම ද අවශ්‍ය කෙරේ. LAMP මෙන්ම WAMP වැනි අනෙකුත් අට්ටි වර්ග සම්බන්ධ කෙටි පාඨමාලා මෙහෙයවන ආයතන රැසක් තිබේ. කලින් කී පරිදි පුහුණු ආයතන පිලිබඳ දන්නා හඳුනන කෙනෙකුගෙන් විමසීම් මැනවි .

මා තෝරාගත යුතු වෘත්තීය මග ද? ශාස්ත්‍රීය මග ද?

පරිගණක විද්‍යා සහ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ සියළුම රැකියාවනට පාහේ ශාස්ත්‍රීය සහ වෘත්තීය අධ්‍යාපන එකතුවක් අවශ්‍යය. මෙම අංශයේ රැකියාවක් සඳහා උපාධියක් ලබාගැනීම හොඳ ආරම්භයකි. බොහෝ රැකියා සඳහා පරිගණක විද්‍යා හෝ/සහ තොරතුරු තාක්ෂණ අංශයේ උසස් ඩිප්ලෝමා හෝ පළපුරුද්දම පමණක් මාධ්‍ය හා අන්තර්ජාල සහ තොරතුරු තාක්ෂණ අලෙවිකරණය යන රැකියා වලට සෑහේ.

පරිගණක විද්‍යා සහ තොරතුරු තාක්ෂණ අංශයේ ඉහලට යාම සදහා විෂය පිලිබඳ Master’s හෝ ශාස්ත්‍රපති උපාධියක් හෝ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උසස් උපාධියක් හෝ අදාළ තාක්ෂනය පිලිබදව Specialist, Professional හා Master වැනි ඉහල වෘත්තීම සුදුසු කම් යොදා ගත හැක .

4 Comments


  1. මං මේ Field 1ට ගොඩාක් ආසයි.. ඒත් ඉදිරියට කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව හිටියේ… දැන් මාර Ideas ටිකක් ගත්තා.. වටිනා ලිපියක්.. ඔයාලට ගොඩක් ස්තූතියි…

  2. I would like to prefer Software Engineering ,Web design & Development ,graphic design ..etc

  3. නියම වැඩක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*